Real-life Pennywise: Man living in Baltimore sewer terrorizes local family

Real-life Pennywise: Man living in Baltimore sewer terrorizes local family

ජනප්‍රිය IT චිත්‍රපට මාලාවේ එන Pennywise සිහිගන්වමින්, ඇමරිකාවේ Baltimore හි කාණු පද්ධතියක් තුළ ජීවත් වෙමින් ප්‍රදේශයේ දරුවන් බිය ගැන්වූ පුද්ගලයෙකු පිළිබඳව අපූරු මෙන්ම බියකරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Unique Wiggins නැමැති මවක් පවසන්නේ, මෙම පුද්ගලයා භූගතව සිට තම දරුවන්ට කතා කරන බවත්, වරෙක ඔවුන් පසුපස පාරේ එලවා ආ බවත්ය. මුලදී ඇය දරුවන්ගේ කතා විශ්වාස කර නොමැති වුවත්, ඇගේ 21 හැවිරිදි දියණියද දැඩි සේ බියට පත්වී දුරකථනයෙන් කතා කළ පසු ඇය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබෙනවා. එහිදී කාණුව තුළින් කෙනෙකු සින්දු කියන හඬක් ඇසුණු බවත්, “මගේ දරුවන්ට පාඩුවේ ඉන්න දෙන්න” යැයි තමන් ඔහුට දැඩිව ප්‍රකාශ කළ බවත් ඇය පවසනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා ඇත්තේ “නෑ, එයාලට කියන්න මට පාඩුවේ ඉන්න දෙන්න” කියලා යනුවෙනි.

අදාළ පුද්ගලයා දරුවන්ට බියගැන්වීම් කරනවාට අමතරව ඇගේ නිවසට අනවසරයෙන් ඇතුළු වී මෝටර් රථයටද හානි කර ඇති බවට ඇය චෝදනා කරනවා. Baltimore පොලිසිය ඔහුව ඔක්තෝබර් 13 වැනිදා අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර ඇති අතර, ඔහුට එරෙහිව නිකුත් කළ තහනම් නියෝගයක් ඔක්තෝබර් 26 දක්වා ක්‍රියාත්මක වනවා. කාණු පද්ධති සහ බෝක්කු පොදු දේපළක් බැවින් ඔහුව බලහත්කාරයෙන් ඉවත් කිරීමට පොලිසියට ඇති නීතිමය හැකියාව සීමිත වී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත අදාළ ස්ථානයේ ඇතුළුවීම තහනම් (No-trespassing) නාමපුවරුවක් සවිකිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මහජන ආරක්ෂාව වෙනුවෙන් අදාළ කාණු ආවරණය කර දෙන ලෙස එම මව බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින අතර, සමාජ සේවා ආයතන හරහා ඔහුට උපකාර කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.