Rumesh Pathirage wins gold at the World Athletics Ultimate Championship.

Rumesh Pathirage wins gold at the World Athletics Ultimate Championship.

ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතලොස්සකට පමණක් සහභාගිවීමට වරම් හිමිවන ලෝක මලල ක්‍රීඩා ‘අල්ටිමේට් ශූරතා තරගාවලියේ’ හෙල්ල විසි කිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හිමි කරගනී

හංගේරියාවේ Budapest නුවරදී පැවැත්වෙන World Athletics Ultimate Championship 2026 මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ Rumesh Pathirage සමත් වී තිබෙනවා. අවසන් තරඟයේදී මීටර් 91.09 ක දැවැන්ත දුරක් වාර්තා කරමින් ඔහු මෙම ලෝක ශූරතාවය හිමිකරගත් අතර, මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අතිශය සුවිශේෂී ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන්නේ.

ලොව ප්‍රබලතම මලල ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ මෙම තරඟයේදී මීටර් 86.18 ක දුරක් වාර්තා කළ Grenada රාජ්‍යයේ Anderson Peters හට රිදී පදක්කම හිමි වූ අතර, මීටර් 85.89 ක දුරක් වාර්තා කළ ජර්මනියේ Julian Weber හට ලෝකඩ පදක්කම හිමි වුණා. මෑත කාලයේදී අතිවිශිෂ්ට දක්ෂතා දක්වන Rumesh Pathirage මෙම වසරේදී පැවති Commonwealth Games හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ද රන් පදක්කමක් දිනාගැනීමට සමත් වුණා.

එමෙන්ම පසුගිය ජූනි මාසයේදී ඉතාලියේ පැවති Rome Diamond League තරඟාවලියේදී මීටර් 92.62 ක දුරක් වාර්තා කළ ඔහු, මීටර් 90 සීමාව පසුකළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා බවට ද පත් වුණා. වයස අවුරුදු 23 ක් වන මෙම යොවුන් ක්‍රීඩකයා මේ වන විට ආසියානු ඉතිහාසයේ දෙවනුවට වැඩිම දුරක් හෙල්ල විසි කළ ක්‍රීඩකයා ලෙස ද ලෝක මලල ක්‍රීඩා වාර්තා අතර ඉහළින්ම රැඳී සිටිනවා.