Samsung responds to Dua Lipa’s $15 million lawsuit

Samsung responds to Dua Lipa’s $15 million lawsuit

ජනප්‍රිය ගායන ශිල්පිනී Dua Lipa විසින් අවසරයකින් තොරව Samsung TV ඇසුරුම්වල (Packaging) ඇයගේ රුව පාවිච්චි කිරීමට එරෙහිව Samsung වෙත ඇමරිකානු ඩොලර් මිලියන 15ක (රුපියල් බිලියන 4.8 අධික) වන්දි මුදලක් නඩු පවරා ඇති බවට අප විසින් ඊයේ දින වාර්තා කල අතර මේ වන විට වන්දි නඩුව සම්බන්ධයෙන් Samsung සමාගම සිය නිල ප්‍රතිචාරය දක්වා තිබෙනවා. ඇයගේ අවසරයකින් තොරව රූපය භාවිත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් සැම්සුන් සමාගම පවසන්නේ තමන් මෙම ඡායාරූපය භාවිත කළේ අදාළ අන්තර්ගත සහකරුවන්ගෙන් (Content partner) ලැබුණු නිසි අවසරය මත බවයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රූපවාහිනී ඇසුරුම් පෙට්ටි (Retail boxes) සඳහා ද මෙම රුව භාවිත කිරීමට අවශ්‍ය අවසරය ලබාගෙන ඇති බවට එම පාර්ශවය විසින් තමන්ට පැහැදිලි සහතිකයක් (Explicit assurance) ලබා දී තිබූ බවයි. සැම්සුන් සමාගම පවසන්නේ මෙය කිසිසේත්ම නීති විරෝධී භාවිතයක් නොවන බවත්, තම සමාගම සෑම විටම කලාකරුවන්ගේ අයිතීන්ට ගරු කරන බවත්ය. කෙසේ වෙතත් මෙම අර්බුදය නඩු මගට නොගොස් සාමකාමීව විසඳා ගැනීමට Dua Lipa නීතිඥ කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ඡයාරූපය 2024 වසරේ පැවැති Austin City Limits (ACL) සංගීත උළෙලේදී ලබාගත් එකක් වන අතර, Samsung සමාගම එම උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා. මේ නිසා අදාළ සහකාර ආයතනය එම උළෙලේදී ලැබුණු හිමිකම් පදනම් කරගෙන මෙම ඡායාරූපය භාවිත කිරීමට අවසර ඇතැයි වැරදි ලෙස Samsung වෙත දන්වා ඇති බවයි පෙනී යන්නේ. කෙසේ වෙතත් ඩුවා ලිපාගේ පාර්ශවය පවසන්නේ එම ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය ඇය සතු බවත්, එය කිසිම අවස්ථාවක වාණිජ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීමට අවසර ලබා දී නොමැති බවත්ය.