Shah Rukh Khan, Ajay Devgn and Tiger Shroff face Maharashtra FDA notice over Vimal Elaichi ad

Shah Rukh Khan, Ajay Devgn and Tiger Shroff face Maharashtra FDA notice over Vimal Elaichi ad

නිෂ්පාදනය සහ අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති දුම්කොළ සහ නිකොටින් අඩංගු නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ශ්‍රොෆ් හට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය නඩු පවරයි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය (Maharashtra FDA) විසින් බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් වන Shah Rukh Khan, Ajay Devgn සහ Tiger Shroff වෙත නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් තිදෙනා එක්ව පෙනී සිටින Vimal Elaichi වෙළඳ දැන්වීම හරහා 2012 වසරේ සිට අදාළ ප්‍රාන්තය තුළ නිෂ්පාදනය සහ අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති දුම්කොළ සහ නිකොටින් අඩංගු Vimal Pan Masala නිෂ්පාදනය වක්‍රාකාරව ප්‍රවර්ධනය කිරීමයි.

මේ සම්බන්ධයෙන් දින 15 ක් ඇතුළත ලිඛිතව කරුණු දක්වන ලෙසට අදාළ නළුවන්ට බලධාරීන් විසින් දැනුම් දී ඇති අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි එම වෙළඳ දැන්වීම් ව්‍යාපාරයෙන් ඉවත් වන ලෙසටත්, ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඊට අදාළ සියලුම ප්‍රවර්ධන තොරතුරු ඉවත් කරන ලෙසටත් නියෝග කර තිබෙනවා. මීට අමතරව මෙම නළුවන් තිදෙනා විසින් Vimal Elaichi යනු හුදෙක් නීති මඟහැරීම සඳහා යොදාගන්නා ව්‍යාජ නාමයක් නොවන බවත්, එය සැබැවින්ම වෙළඳපොළේ මිලදී ගැනීමට ඇති ස්වාධීන නිෂ්පාදනයක් බවත් ඔප්පු කිරීම සඳහා ලිඛිත සාක්ෂි ද ලබා දිය යුතු වනවා.

එමෙන්ම ඔවුන්ගේ අදාළ ගිවිසුම්වල පිටපත් සහ මෙම දැන්වීමට පෙනී සිටීමට පෙර ඔවුන් විසින් සිදුකළ සොයාබැලීම් පිළිබඳ සාක්ෂි ද බලධාරීන් විසින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. නියමිත කාලය ඇතුළත සතුටුදායක පිළිතුරක් ලබා දීමට ඔවුන් අපොහොසත් වුවහොත්, නොමඟ යවන සුළු ආහාර දැන්වීම් තහනම් කරන Food Safety and Standards Act 2006 යටතේ ඔවුන්ට දැඩි නීතිමය සහ මූල්‍යමය දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. Bolo Zubaan Kesari යන තේමාව යටතේ විකාශය වන මෙම දැන්වීම මින් පෙර ද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් එකක් වීම ද විශේෂත්වයක්.