ස්ලෝවික් විනිශ්චය හෙවත් The Menu හෑල්ල

ස්ලෝවික් විනිශ්චය හෙවත් The Menu හෑල්ල

හුරු අත හරියට වැඩ කරන්නේ නැතිව මාසයක් ඉස්පිරිතාලේ ලගින එක ලේසි පාසු වැඩක් නෙමේ. ඊටත් දොස්තර නෝනලා ෆෝන් ඔබන්න එපා කියද්දි එක විදිහට ඉන්න එක අවුලක් සුද්දා. ඒ අස්සෙ ලේ ටික උණු වෙන වැඩ තමා හොලිවුඩ් පැත්තේ සිද්ද වෙන්නේ...

කෝමෙන් කෝමහරි ශ්‍රී කොම් හෑලි පික්කන්ට මේ දවස්වල ආයෙත් කතාබහට ලක්වෙන, හොලිවුඩයේ "වෝක්" (Woke) උන්මාදයත් එක්ක හැපෙන ජුලියන් ස්ලෝවික්ගේ රස පරීක්ෂාව ගැන හෑල්ලක් ලියන්න හිතුනා. වම් අතින් බොහොම අමාරුවෙන් කොටපු නිසා අකුරු වැරදි ඇති. ඒ හින්දා සමාව භාජනයකට දාලා දීලා කියවන්ඩලා...

Mark Mylod අධ්‍යක්ෂණය කරපු, Seth Reiss සහ Will Tracy ලියපු 'The Menu' (2022) කියන්නේ නිකම්ම නිකම් Horror ෆිල්ම් එකක් නෙමෙයි. ඒක අද කාලේ හොලිවුඩය ඇතුළු කලා ලෝකය ගොදුරු වෙලා තියෙන "වෝක්" සංස්කෘතියට සහ පන්ති භේදයට එල්ල කරපු මාරාන්තික කෑම වේලක්. ඩොලර් මිලියන 30ක වියදමින් නිපදවලා ඩොලර් මිලියන 79ක බොක්ස් ඔෆිස් ආදායමක් ගත්ත මේ චිත්‍රපටය, IMDb 7.2ක් සහ Rotten Tomatoes 88%ක් වගේ ඉහළ අගයන් අරන් තවමත් කතාබහට ලක්වෙනවා.

පෞද්ගලිකව මට මේක විශේෂ වෙන්නේ, අපි ආදරය කරන කලාව අද කොයි වගේ විකෘති තැනකට පත් වෙලාද කියලා ස්ලෝවික් හරහා පෙන්නන නිසා. රැල්ෆ් ෆිනීස් (Julian Slowik), ආන්‍යා ටේලර්-ජෝයි (Margot) සහ නිකලස් හෝල්ට් (Tyler) ගේ රංගනය මේකේ උපරිමයි.

දැන් ඉතින් ෆිල්ම් එක බලලා ආයෙත් මතක් කරගෙන ඉතුරු ටික කතා කරමු...

#Warning #HeavySpoilerAlert

මේ කතාවේ ජුලියන් ස්ලෝවික් කියන්නේ නිකම්ම ෂෙෆ් කෙනෙක් නෙමෙයි. ඔහු කලාව වෙනුවෙන් තමන්ගේ ආත්මය පූජා කරපු නිර්මාණකරුවෙක්. හැබැයි ඔහු වට වෙලා ඉන්නේ කලාව රස විඳින්න දන්නේ නැති, කලාව "පරිභෝජනය" විතරක් කරන පිරිසකගෙන්. ධනපතියෝ, විචාරකයෝ සහ ටයිලර් වගේ "Show off" ඩයල්.
ස්ලෝවික්ගේ 'පව්කාර' අමුත්තන් සහ දඬුවම්

ස්ලෝවික් තමන්ගේ අන්තිම කෑම වේලට හැමෝම තෝරාගත්තේ හේතුවක් ඇතුවයි. ඔහුට අනුව ඔවුන් හැමෝම කලාව මරා දැමූ අපරාධකරුවන්. ඔවුන්ට දුන්න දඬුවම් තමයි...
1. ටයිලර් ලෙඩ්ෆඩ් (Tyler Ledford) - කලාව ගැන කිසිදු හැඟීමක් නැති, දැනුම ප්‍රදර්ශනය කරන (Foodie snob) වංචනික Instagram Influencer කෙනෙක් වීම. අරක්කැමි පිරිස ඉදිරියේ නින්දාවට පත්වීමෙන් පසු ගෙල වැලලාගෙන මියයාමට සැලැස්වීම.


2. ලිලියන් බ්ලූම් (Lillian Bloom) සහ ඇගේ සංස්කාරක ටෙඩ් (Ted Feldman) - තමන්ගේ විචාර හරහා කෝකියන්ගේ වෘත්තීය ජීවිත විනාශ කළ උඩඟු විචාරිකාවක් වීම.අවසාන 'S'mores' පූජාවේදී පණපිටින් පිළිස්සීම.


3. ටෙක් බ්‍රෝස් (Soren, Dave, and Bryce) - කලාව මුදලට යටත් කළ, වංචනික ලෙස මුදල් ඉපයූ පිරිසක් වීම. පණපිටින් පිළිස්සීමට පෙර තමන්ගේ ලොක්කා (Doug) දියේ ගිලෙනු බලා සිටීමට සැලැස්වීම.


4. රිචඩ් සහ ඈන් (The Liebrandts) - කෑමේ රස නොදන්නා, හුදෙක් පුරුද්දට අධික මිලක් ගෙවා 'Hawthorn' වෙත එන පොහොසතුන් වීම. රිචඩ්ගේ ඇඟිල්ලක් කපා දැමීම සහ අවසානයේ මරණය.


5. ජුලියන්ගේ මව (Linda) - තම පුතා පීඩාවට පත් වූ යුගයේ නිහඬව සිටීම (Apathy). අවසානයේ ගින්නට බිලිවීම.


6. ෆෙලිසිටි (Felicity) - ජෝර්ජ්ගේ සහායිකාව වුණාට, ඇය ඇත්තටම කරන්නේ ජෝර්ජ්ගේ සල්ලිවලින් යැපෙන එක. ඇය ජෝර්ජ්ට හොරෙන් ඔහුගේ සල්ලි සොරකම් කරනවා වගේම, ඔහුට කිසිම ගරුත්වයක් නැතිව ඔහු ළඟ ඉන්නේ තමන්ගේ වාසියට විතරයි. ස්ලෝවික් ඇයට චෝදනා කරන්නේ ඇය "ධනවත් පවුලක ඉපදී, හොඳ අධ්‍යාපනයක් ලබා තිබියදීත්, කිසිදු අරමුණක් නැතිව තවත් කෙනෙකුගේ සෙවණැල්ලක ජීවත් වෙමින් සොරකම් කරන" බවයි. විශේෂයෙන්ම ඇයට කිසිදු ශිෂ්‍ය ණය (Student Loans) නොමැති වීම ස්ලෝවික් දකින්නේ ඇය ලැබුණු වරප්‍රසාද අවභාවිතා කිරීමක් ලෙසයි.
ඇයව අනෙක් අමුත්තන් සමඟ අවසාන 'S'mores' පූජාවේදී පණපිටින් පිළිස්සීමට ලක් කරනවා. ඇය බේරෙන්න උත්සාහ කළත්, ස්ලෝවික් ඇයට පවසන්නේ ඇය "මේ පද්ධතියේම කොටසක්" (Part of the problem) බවයි.

7. ජෝර්ජ් ඩයස් (George Diaz) හෙවත් 'සැබෑ' හොලිවුඩ් රාක්ෂයා
John Leguizamo විසින් නිරූපිත කරන ලද මේ චරිතය තමයි ස්ලෝවික්ගේ ලැයිස්තුවේ ඉන්න හාස්‍යජනකම චරිතය. ඔහු වයසට ගිය, ජනප්‍රියත්වය ගිලිහුණු, නමුත් තවමත් "මම තමයි වැඩ්ඩා" කියා හිතන නළුවෙක්. ඔහු හෝතෝන් එකට එන්නෙත් අද මෙනු එක රසවිඳලා ඒකෙන් ආයෙත් ප්‍රසිද්ධිය ලබාගන්න.
ස්ලෝවික්ට අනුව ජෝර්ජ්ගේ ලොකුම අපරාධය තමයි ඔහු රඟපෑ ඉතාමත් අසාර්ථක චිත්‍රපටය.
ජෝජ් මීට කලින් හොඳ නළුවෙක් වූ නිසා සහ ඔහුගේ හොඳ චිත්‍රපට තිබුණ නිසා තමා ස්ලෝවික් මේ චිත්‍රපටය බලල තියෙන්නෙ.
ස්ලෝවික් පවසන්නේ තම නිවාඩු දිනයේ එම චිත්‍රපටය බැලීමෙන් තම වටිනා කාලය සහ මානසික නිදහස සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි. (මේ චරිතය Steven Seagal ඇසුරෙන් නිර්මාණය වූවක් බවද පැවසෙනවා).
දඬුවම: ජෝර්ජ්, ස්ලෝවික් තමාව හඳුනා ගනී යැයි සිතා බොරු පාරට්ටු බෑවත්, ස්ලෝවික් ඔහුව නින්දාවට පත් කරනවා. අවසානයේදී ජෝර්ජ්ට සිදුවන්නේ 'S'mores' අතුරුපසක් ලෙස චොක්ලට් සහ මාෂ්මෙලෝවලින් වැසී පණපිටින් පිළිස්සී යන්නයි.

ස්ත්‍රීවාදය සහ 'Humiliation' කෝස් එක
සෝ-ෂෙෆ් කැතරින්ගේ (Katherine) සිද්ධියෙන් ස්ලෝවික්ගේ පෞද්ගලික පව් එළියට එනවා. ලිංගික හිරිහැර සහ පිරිමි ආධිපත්‍යය ගැන ඇය කරන ප්‍රකාශය අද හොලිවුඩයේ #MeToo ව්‍යාපාරයේම දෝංකාරයක්. ඇය ස්ලෝවික්ගේ කලවයට පිහියෙන් ඇනීමෙන් පෙන්වන්නේ, ඕනෑම දක්ෂ නිර්මාණකරුවෙක් වුණත් ඔහු සදාචාරාත්මකව පිරිහී ඇත්නම් ඔහුට ගැලවීමක් නැති බවයි.

මොකක්ද The Menu සහ වෝක් (Woke) හොලිවුඩ් වල තියෙන සම්බන්ධය?


1. කලාව සහ 'පරිභෝජනය' (Art vs. Consumption)
ස්ලෝවික්ගේ ලොකුම වේදනාව වුණේ ඔහු හදන කෑම කවුරුවත් රස විඳින්නේ (Savor) නැති එකයි. ඔවුන් කරන්නේ කෑම පරිභෝජනය (Consume) කරන එක විතරයි.
• ටයිලර් (Tyler): ඔහු "ෆුඩී" (Foodie) කෙනෙක් විදියට රඟපෑවට, ඔහුට කලාව ගැන ඇත්තම හැඟීමක් නැහැ. ඔහු කරන්නේ ස්ලෝවික්ගේ දක්ෂතාවය තමන්ගේ 'ඊගෝ' එක පෝෂණය කරගන්න පාවිච්චි කරන එක. (අද හොලිවුඩයේ "වෝක්" රසිකයොත් කරන්නේ මේකමයි - ඔවුන් කතාව රස විඳිනවාට වඩා බලන්නේ ඒක තමන්ගේ දේශපාලන මතවාදයට කොච්චර ගැලපෙනවද කියලයි, ඒකෙන් viral යන්නයි විතරයි).
• විචාරකයන් (Lillian Bloom): ඇය කෑමේ රස බලනවා වෙනුවට ඒකේ "පොෂ්" භාවය ගැන හොයනවා. ඇය නිර්මාණකරුවන්ව තමන්ගේ පෑනෙන් මරා දාපු කෙනෙක්.

2. ජෝර්ජ් ඩයස් (The Washed-up Actor) සහ 'වෝක්' හොලිවුඩය
මෙතැනදී ස්ලෝවික් පහර දෙන්නේ අද හොලිවුඩයේ තියෙන 'Content' සංස්කෘතියටයි. කිසිම හරයක් නැති, හුදෙක් මුදල් ඉපයීමට පමණක් කරන නිර්මාණ (උදාහරණයක් අසාර්ථක ප්‍රතිනිර්මාණ, බලෙන් ඔබ්බවන ලද Race-swapping, LGBTQ+ චරිත, බොරුවට ‘අඥී I am Obsessed’ කියාගෙන දේවල් ප්‍රචාරය කරන Influencers ලා ) කලාවට කරන නිගරුවක් බව ස්ලෝවික් අපට මතක් කර දෙනවා.
අද කාලේ හොලිවුඩයේ ප්‍රධානතම මාතෘකාව තමයි "Representation" හෙවත් නියෝජනය. හැබැයි මේක දැන් සීමාව පැනලා ගිහින් 'Race-swapping' (චරිතවල ජාතිය වෙනස් කිරීම) සහ බලෙන්ම ලජබට නියෝජනය කරන තැනට ඇවිත්. උදාහරණයක් විදියට, හැමෝම ආදරය කරන හැරී පොටර් කතා මාලාවේ 'Severus Snape' කියන සුදු ජාතික චරිතය, අලුතින් එන HBO සීරීස් එකේදී කළු ජාතික නළුවෙක් වන Paapa Essiedu ට ලබා දීම. ඒ වගේම Percy Jackson සීරීස් එකේ 'Annabeth Chase' (Leah Sava Jeffries) සහ 'Grover Underwood' (Aryan Simhadri) ගේ ජාතීන් වෙනස් කිරීමත් එක්ක ලොකු ආන්දෝලනයක් ඇති වුණා. මේවාට තවත් උදාහරණ තමා Mr. and Mrs. Smith, The X files රීබූට් කිරීම්...
2024 වසරේ සිට (96 වන ඔස්කාර්) ඇකඩමි සම්මාන උළෙලේදී පවා, 'හොඳම චිත්‍රපටය' (Best Picture) කාණ්ඩය සඳහා සුදුසුකම් ලැබීමට නම්, චිත්‍රපටයක් විසින් ඇකඩමිය හඳුන්වා දුන් ප්‍රමිතීන් හතරෙන් අවම වශයෙන් දෙකක්වත් සපුරාලිය යුතුයි.
එනම්:
ප්‍රමිතිය A: තිරය මත නියෝජනය (On-Screen Representation)
මෙය සපුරාලීමට නම් පහතින් එකක් තිබිය යුතුයි:
• ප්‍රධාන චරිතයක්: අවම වශයෙන් එක් ප්‍රධාන චරිතයක් හෝ සැලකිය යුතු සහය චරිතයක් ඌන-නියෝජිත ජාතියක (Underrepresented racial/ethnic group) අයෙක් විය යුතුයි.
• සමස්ත නළු පිරිස: චරිතවලින් අවම වශයෙන් 30%ක් වත් කාන්තාවන්, LGBTQ+, ජාතික සුළුතරයන් හෝ ආබාධ සහිත අය විය යුතුයි.
• කථා වස්තුව: චිත්‍රපටයේ ප්‍රධාන තේමාව හෝ කතාව ඉහත කී කණ්ඩායමකට සම්බන්ධ විය යුතුයි.
ප්‍රමිතිය B: නිර්මාණාත්මක නායකත්වය (Creative Leadership)
තිරය පිටුපස වැඩ කරන පිරිස (අධ්‍යක්ෂණ, කැමරා, සංස්කරණය) අතරින් අවම වශයෙන් දෙදෙනෙකු හෝ ප්‍රධාන අංශ ප්‍රධානියෙකු ඉහත කී සුළුතර කණ්ඩායමකට අයත් විය යුතුයි.
ප්‍රමිතිය C: කර්මාන්ත ප්‍රවේශය (Industry Access)
නිෂ්පාදන සමාගම විසින් ඌන-නියෝජිත කණ්ඩායම් සඳහා ගෙවන ලද පුහුණු අවස්ථා (Internships) හෝ වෘත්තීය පුහුණු අවස්ථා ලබා දිය යුතුයි.
ප්‍රමිතිය D: ප්‍රේක්ෂක සංවර්ධනය (Audience Development)
අලෙවිකරණ (Marketing), ප්‍රචාරණ (Publicity) සහ බෙදාහැරීමේ (Distribution) කණ්ඩායම්වල නායකත්වය තුළ ඉහත කී නියෝජනය තිබිය යුතුයි.
මේ ප්‍රමිති වලට අනුකූල නැත්නම් - විශේෂයෙන්ම A කාණ්ඩය - හොඳම චිත්‍රපටයක් පවා කුණුගොඩට වැටෙන තත්වයක් තමා දැන් තියෙන්නෙ. සමාජයේ ඇති සැටි පරිද්දෙන් නියෝජනය පැවතුණාට ගැටලුවක් ඇත්තේ නැති බව හැබෑව... ප්‍රශ්නය තමා මේක අවශ්‍ය අනවශ්‍ය හැම තැනකටම කෘත්‍රිමව බලෙන් ඔබ්බන්න යන එක...
හොලිවුඩයේ "වෝක්" උන්මාදය සහ නිර්මාණාත්මක අර්බුදය ගැන කතා කරද්දී, මෑත කාලයේදී Disney සමාගම මුහුණ දුන් ලොකුම පසුබෑමක් වන 'Snow White' (2025) ප්‍රතිනිර්මාණය (Remake) මේ හෑල්ලට අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි.
ස්ලෝවික්ගේ 'The Menu' එකෙන් පෙන්නපු "කලාව විකෘති කිරීමේ" සැබෑ ලෝකයේ උදාහරණය තමයි මේ. ජුලියන් ස්ලෝවික් තමන්ගේ පාරිභෝගිකයන් මරා දමන්නේ ඔවුන් කලාවට නිගරු කළ නිසයි. Disney සමාගමටත් 'Snow White' හරහා සිද්ධ වුණේ එවැනිම දෙයක්; ඔවුන් මුල් කෘතියේ "ආත්මය" (Soul) මරා දැමීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රේක්ෂකයන්ගෙන් මාරාන්තික ප්‍රතිචාරයක් ලැබුණා.
ස්නෝ වයිට් සහ 'වෝක්' විනාශය
Disney සමාගම ඩොලර් මිලියන 336ක් වැනි දැවැන්ත පිරිවැයක් දරා නිපදවූ මේ චිත්‍රපටය, ලොව පුරා උපයා ගත්තේ ඩොලර් මිලියන 206ක් වැනි සොච්චම් මුදලක් පමණයි. Forbes දත්ත වලට අනුව, අලෙවිකරණ වියදම්ද ඇතුළුව Disney සමාගමට සිදු වූ ශුද්ධ පාඩුව ඩොලර් මිලියන 170ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙම අසාර්ථකත්වයට ප්‍රධානතම හේතු කිහිපයක් තිබෙනවා:
• මුල් කෘතියට කළ නිගරුව: ප්‍රධාන නිළි Rachel Zegler විසින් 1937 මුල් සජීවිකරණ චිත්‍රපටය "කල් ඉකුත් වූ" (dated, weird) එකක් ලෙස හැඳින්වීමත්, එහි කුමාරයා "Snow White ව ලුහුබඳින ස්ටෝකර් කෙනෙක්" (Stalker) ලෙස විවේචනය කිරීමත් රසිකයන්ගේ දැඩි කෝපයට හේතු වුණා.
• මිට්ටන් ඉවත් කිරීම (The Seven Dwarfs Controversy): මුල් කතාවේ සැබෑ කුරුමිට්ටන් සහ ඔවුන්ව නිරූපණයට හිටි හොඳම කාණ්ඩය වුණු Dwarf Actors නොසළකා හැරලා, අනවශ්‍ය නිරූපණයක් සහිත "මායාකාරී ජීවීන්" (Magical beings) පිරිසක් ආදේශ කිරීමට ගත් තීරණය CGI මගින් පසුව නිවැරදි කිරීමට සිදු වුණත්, ඒ වන විටත් රසිකයන් චිත්‍රපටය ප්‍රතික්ෂේප කර අවසන්.
• දේශපාලනික මැදිහත්වීම්: Rachel Zegler සහ Gal Gadot (Evil Queen) ගේ පෞද්ගලික දේශපාලන මතවාද සහ ප්‍රකාශ නිසා චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීමට පෙරම වර්ජනය (Boycott) කිරීමේ රැල්ලක් නිර්මාණය වුණා.
• ග්‍රිම් සහෝදරයන්ගේ (Grimm Brothers) මුල් ජනකතාවට අනුව, හිම කුමාරියගේ සැබෑ වාර්ගික නිරූපණය විය යුත්තේ "She had skin as white as snow, lips as red as blood, and hair as black as ebony." - හිම මෙන් සුදු පැහැති සමක්, රුධිරය මෙන් රතු පැහැති කම්මුල් සහ කළු නික මෙන් කළු පැහැති කේශ කලාපයකින් හෙබි, ජර්මානු සම්භවයක් සහිත යුරෝපීය චරිතයක් ලෙස වුවත්, නූතන හොලිවුඩ් ප්‍රතිනිර්මාණයන් එම ඓතිහාසික නිරූපණය පසෙකලා "වෝක්" දේශපාලනය වෙනුවෙන් ලතින් ඇමරිකානු (Latina) වාර්ගික නියෝජනයක් බලෙන් ආදේශ කර තිබුණා. ඊශ්‍රායල ජාතික ගැල් ගැඩොට් ටත් වඩා නපුරු රැජිනට ගැළපුනේ ඩිස්නිලන්තයේ කලක් සේවය කළ Sabrina Von B කීවත් වරදක් නෑ. Charlize Theron නම් ඒ චරිතයට සෑහෙන සාදාරණයක් ඉටු කරා ඇගේ චිත්‍රපටයෙදි (Snow White and the Huntsmen – Queen Ravenna)
සැබෑ රසවින්දනය සහ බලෙන් පැටවීම (Woke vs Originality)
'The Menu' හි ස්ලෝවික් කියන විදිහට, "අපි දැන් කන්නේ කෑම නෙමෙයි, කෑම ගැන කතාන්දරයි." අද හොලිවුඩයත් අපිට දෙන්නේ චිත්‍රපට නෙමෙයි, ඔවුන්ගේ දේශපාලන "කතාන්දර" සහ "Agenda" එකයි.
මේකට හොඳම උදාහරණය තමයි 2025 දීම නිකුත් වුණු 'Lilo & Stitch' ප්‍රතිනිර්මාණය. Snow White අසාර්ථක වෙද්දී, Lilo & Stitch ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් වාර්තා තැබුවා. හේතුව සරලයි; Lilo & Stitch හිදී Disney සමාගම මුල් කතාවට හෝ චරිතවලට හානි කළේ නැහැ. ඔවුන් ප්‍රේක්ෂකයාට අවශ්‍ය දේ (Authenticity) ලබා දුන්නා.
නමුත් Snow White හිදී ඔවුන් උත්සාහ කළේ "ප්‍රගතිශීලී" වීමට ගොස් ප්‍රේක්ෂකයාගේ ආදරණීය මතකයන් විකෘති කිරීමටයි. 'The Menu' හි ටයිලර් වැනි අන්ධ රසිකයන් මේවාට අත්පොඩි ගැසුවත්, අවසානයේදී සිදුවන්නේ සමස්ත කලාවම පිලිස්සී අළු වී යාම පමණයි.

අවසාන හෑල්ල...
කලාව කියන්නේ පණිවුඩ බෙදන තැපැල් කන්තෝරුවක්වත්, දේශපාලන මත වලට ගැටෙන පාර්ලිමේන්තුවක්වත් නෙමෙයි. ඔබ Snape/ Helen of Troy/ Annabeth ගේ ජාතිය වෙනස් කළත්, Geralt ගේ පෙනුම වෙනස් කළත්, Snow White ගේ මුල් සංස්කෘතිය අමතක කරත්, Dr. Watson ව Gender Swap කරත්, Francesca Bridgerton ගේ ලිංගික නැමියාව වෙනස් කරත් - එය කරන්නේ හුදෙක් "වෝක්" ලකුණු දාගැනීමට පමණක් නම්, ඔබ එහිදී ඒ චරිතයේ මුල් අමතක කරනවානම් - සැබෑ ප්‍රේක්ෂකයා ඒක ප්‍රතික්ෂේප කරනවා.
අපි Nick Fury, Amenadiel, Henry/Alex, The Endless, Ellis Boyd 'Red' Redding, Jim Gordon (The Batman - Jeffrey Wright), Dumbledore/Grindelwald, Victor Frankenstein (Frankenstein 2025) චරිත වලට මුකුත් නොකියූ බවත්, ඒවාට ආදරේ කළ බවත් මෙහිදී සඳහන් කිරීම වටින බවයි මගේ අදහස...

ස්ලෝවික් අවසානයේදී මාගෝට චීස්බර්ගර් එකක් දුන්නේ, ඇයට හෝතෝන් වලින් පිටව යන්න ඉඩ දුන්නේ (ඇය අවසානයේ කෑම විස වී මිය ගියත්) ඇය බොරු ප්‍රශංසා ඉදිරිපත් නොකර ඔහුට විරුද්ධව නැගී සිටිය නිසයි. හොලිවුඩයටත් දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ අන්න ඒ වගේ අවංක (Authentic) නිර්මාණකරුවෝ සහ ප්‍රේක්ෂකයෝ මිසක්, සමාජය සතුටු කරන්න යන "වෝක්" රූකඩ නෙමෙයි.
ප්‍රවේශම් වන්න; ඔබේ නිර්මාණයට අවංක නොවී, එය දේශපාලනයට, ප්‍රසිද්ධියට ආයුධයක් කරගත්තොත්, අවසානයේ ඉතිරි වන්නේ ප්‍රතික්ෂේප වීම පමණයි!
Be faithful to the legacies you touch!
ගිහින් එන්නම්!

Admin: Ayesha Anuruddha