Spider-Man: Brand New Day secures top two spots for most-viewed trailers in history

Spider-Man: Brand New Day secures top two spots for most-viewed trailers in history

ලොව වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබා ගත් පූර්ව ප්‍රචාරක පට අතර පළමු සහ දෙවන ස්ථාන ද්විත්වයම තනි චිත්‍රපටයක් විසින් හිමිකර ගැනීමේ අතිශය දුර්ලභ වාර්තාවක් පිහිටුවීමට Spider-Man: Brand New Day චිත්‍රපටය සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ දෙවන පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී පළමු සතිය අවසන් වන විට මිලියන 590.8 ක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගනිමින් මෙලෙස වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබා ගත් පූර්ව ප්‍රචාරක පට අතර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගත් පූර්ව ප්‍රචාරක පටය ලෙස පළමු ස්ථානයේ රැඳී සිටින්නේ Spider-Man: Brand New Day පළමු නිළ පූර්ව ප්‍රචාරක පටය වන අතර එම පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී පළමු පැය 24 ඇතුළතදී පමණක් මිලියන 718.6 ක දැවැන්ත නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගනිමින්, මීට පෙර Deadpool & Wolverine චිත්‍රපටය තබා තිබූ මිලියන 365 ක වාර්තාව අතිවිශාල පරතරයකින් බිඳ දැමීමට සමත් වූ අතර Grand Theft Auto VI (GTA 6) තබා තිබූ මිලියන 475 ක වාර්තාව ද අභිබවා ගොස් ඕනෑම පූර්ව ප්‍රචාරක පටයක වැඩිම නැරඹුම් වාරයක් ඉක්මවූ පූර්ව ප්‍රචාර පටය බවට පත් විය. මේ වන විට එය නැරඹුම් වාර බිලියනය සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ දැවැන්තම පූර්ව ප්‍රචාරක පට දියත් කිරීම් දෙකම එකම චිත්‍රපටයක් යටතට පත්වීම ලෝක සිනමාව තුළ නොමැකෙන සලකුණක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව Spider-Man: Brand New Day පූර්ව ප්‍රචාරක පට තබා ඇති වාර්තා.

(1) නැරඹුම් වාර බිලියනය සීමාව පසු කල ලොව පළමු පූර්ව ප්‍රචාරක පටය.

(2) ඕනෑම කාණ්ඩයක වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන ඇති පූර්ව ප්‍රචාරක පටය.

(3) වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන ඇති චිත්‍රපට පූර්ව ප්‍රචාරක පටය.

(4) ඕනෑම කාණ්ඩයක වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන ඇති පූර්ව ප්‍රචාරක පට අතර දෙවන ස්ථානය.

(5) වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන ඇති චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට අතර දෙවන ස්ථානය.