Sri Lanka Police deactivates official TikTok account amidst severe public backlash

Sri Lanka Police deactivates official TikTok account amidst severe public backlash

ශ්‍රී ලංකා පොලීසිය සිය නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූප කමෙන්ට් කිරීමේ පහසුකම අක්‍රිය කර පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන්, මේ වන විට ඔවුන්ගේ නිල TikTok ගිණුම වන @sri_lanka_police ගිණුම ද සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය මැයි 18 වනදා යාපනය ප්‍රදේශයේදී LTTE සංවිධානය සැමරීම සඳහා හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ පිරිසක් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන දැඩි මහජන විරෝධය මෙයට ද ප්‍රධානතම හේතුවයි.

ෆේස්බුක් පිටුවේ ඡායාරූප කමෙන්ට් කිරීම (Photo comments) පොලීසිය විසින් පහසුවෙන් අක්‍රිය කරනු ලැබුවද, TikTok වේදිකාව තුළ එලෙස Photo comments අවහිර කිරීමේ ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් කමෙන්ට් පාලනය කිරීමට ඇති තාක්ෂණික සීමාවන් සහ ජනතාව දිගින් දිගටම අදාළ වීඩියෝ සඳහා දැඩි ලෙස විරෝධතා පළ කිරීම හේතුවෙන් පොලීසියට සිය @sri_lanka_police TikTok ගිණුම මෙලෙස සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට සිදුව තිබෙනවා.

විශේෂයෙන්ම තරුණ පරපුර ඉලක්ක කරගනිමින් මාර්ග නීති, මත්ද්‍රව්‍ය නිවාරණය සහ විවිධ අපරාධ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මෑතකාලීනව මෙම TikTok ගිණුම ඉතා සක්‍රියව භාවිත කරනු ලැබුවා. එහිදී ඔවුන් විවිධ ජනප්‍රිය වීඩියෝ රැල්ලට (Trends) අනුව යමින් වීඩියෝ නිර්මාණය කළ අතර, ඒවාට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ද හිමිව තිබුණා.

කෙසේ වෙතත්, රටේ අනෙකුත් ප්‍රදේශ වල නීතිය කඩකරන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත්තද උතුරේ සිදුවීම් හමුවේ පොලීසිය දක්වන මෙම නිහඬ පිළිවෙත ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා. මහජනතාවගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙනවා වෙනුවට මෙලෙස ඩිජිටල් අවකාශයෙන් පලා යාම සහ ගිණුම් අක්‍රිය කිරීම හරහා පොලීසියේ වගවීම පිළිබඳව බරපතළ ගැටලුවක් මතු වී ඇති බවයි බහුතරයකගේ අදහස වී ඇත්තේ.