Sri Lanka’s ‘Madol Doova’ introduced to Swedish schoolchildren

Sri Lanka’s ‘Madol Doova’ introduced to Swedish schoolchildren

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සුප්‍රසිද්ධ නවකතාවක් වන මඩොල් දූව ස්වීඩන් පාසල් දරුවන් සඳහා හඳුන්වා දෙයි.

ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ සංස්කෘතික වැඩසටහනක් හරහා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සුප්‍රසිද්ධ නවකතාවක් වන මඩොල් දූව ස්වීඩන් පාසල් දරුවන් අතරට ගෙන යාමට පසුගියදා කටයුතු කර තිබෙනවා. නූතන සිංහල සාහිත්‍යයේ පුරෝගාමියා වන එතුමාගේ මෙම කෘතිය හරහා ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් සහ සංස්කෘතික උරුමයන් පිළිබඳව ස්වීඩන් දරුවන්ට සමීප කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබුණා.

1947 වසරේදී රචනා වූ මෙම සම්භාව්‍ය කෘතිය ස්වීඩන් භාෂාවට පරිවර්තනය කළ ප්‍රියංවදා එම්. බන්දු-වර්ධන විසින්ම දරුවන් වෙනුවෙන් එහි පරිච්ඡේදයක් සජීවීව කියවා පෙන්වීම මෙම වැඩසටහනේ විශේෂ අංගයක් වුණා. ඉන් අනතුරුව ඇය විසින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංස්කෘතිය, වීරත්වය සහ ධෛර්යය යන තේමාවන් ඔස්සේ දරුවන් සමඟ අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

මඩොල් දූව කතාවේ එන උපාලි සහ ජින්නාගේ වීරක්‍රියා තමන්ගේ පරිකල්පනයට අනුව සිතුවම් කිරීමේ විශේෂ චිත්‍ර ඇඳීමේ සැසියකට ද මෙම දරුවන් සහභාගී වුණා. වැඩසටහන අවසානයේදී ඔවුන්ට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය රසකැවිලි සහ ලොව පුරා ප්‍රචලිත ලංකා තේ රස බැලීමේ අවස්ථාව ද සලසා දී තිබුණා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ මෙය රටවල් දෙක අතර සංස්කෘතික සබඳතා සහ පුද්ගල සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් සිදුකළ සාර්ථක රාජ්‍යතාන්ත්‍රික පියවරක් බවයි. ඉංග්‍රීසි, දෙමළ, ජපන්, චීන, රුසියානු සහ ලන්දේසි ඇතුළු භාෂා රැසකට පරිවර්තනය වී ඇති මඩොල් දූව කෘතිය, ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම සහ ජාත්‍යන්තරයේ පවා ආදරය දිනාගත් සාහිත්‍ය නිර්මාණයක් ලෙස තවදුරටත් සැලකෙනවා.