
Stuntman fails to break plank at Vietnamese movie premiere after crew brings real wood
වියට්නාමයේ ක්රියාදාම චිත්රපටයක මංගල දර්ශනය අතරතුරදී, ප්රදර්ශනාත්මක බාල ලී වෙනුවට සංවිධායකයින් විසින් අත්වැරදීමකින් සැබෑ ශක්තිමත් ලී ලෑලි ගෙන ඒම හේතුවෙන් ක්රියාදාම ශිල්පියෙකු දැඩි අපහසුතාවයට පත් වෙයි
වියට්නාමයේ Ho Chi Minh City සහ Hanoi හි පැවති Chiến Nam: Ve Sầu Thoát Xác ක්රියාදාම චිත්රපටයේ මංගල දර්ශනය අතරතුරදී, ප්රදර්ශනාත්මක බාල ලී වෙනුවට සංවිධායකයින් විසින් අත්වැරදීමකින් සැබෑ ශක්තිමත් ලී ලෑලි ගෙන ඒම හේතුවෙන් ක්රියාදාම ශිල්පියෙකු දැඩි අපහසුතාවයට පත්වූ පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා.
එහිදී Hắc Diện නමැති චරිතය නිරූපණය කරමින් කළු පැහැති ඇඳුමකින් සහ වෙස්මුහුණකින් සැරසී වේදිකාවට පිවිසි Minh Nhựt නමැති රියාදාම ශිල්පියා, ප්රේක්ෂකයින් උද්යෝගිමත් කිරීම සඳහා ආකර්ෂණීය කරණම් කිහිපයක් ගසා අනතුරුව සිය දෑතින් ලී ලෑලි කිහිපයක් කැඩීමට උත්සාහ කළා. කෙසේ වෙතත් සංවිධායකයින් විසින් එම අවස්ථාව සඳහා සැබෑ ශක්තිමත් ලී ලෑලි ලබා දී තිබීම නිසා ඔහු අත් දෙකෙන්ම විනාඩියකට ආසන්න කාලයක් පුරා දිගින් දිගටම පහර දුන්නද ඒවා කැඩී ගියේ නැහැ. ඔහු දැඩි උත්සාහයකින් යුතුව ලෑලි කැඩීමට දැරූ වෑයම අසාර්ථක වීමත් සමඟ, ප්රේක්ෂකාගාරයෙන් නැගුණු අත්පොළසන් හඬ ක්රමයෙන් විවෘත සිනහවක් බවට පත් වුණා.
මෙම සිදුවීමේ වීඩියෝ දර්ශන 𝕏 ඇතුළු සමාජ මාධ්ය ජාලාවල නැරඹුම් වාර මිලියන ගණනක් ලබා ගනිමින් වේගයෙන් සංසරණය වූ අතර, ‘Karate users when the wood isn’t fake’ සහ ‘His aura vaporized after the first hit’ වැනි හාස්යජනක සටහන් රැසක් ද මේ හරහා නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු පැළඳ සිටි වෙස්මුහුණ හේතුවෙන් මෙම අවස්ථාවේදී ඔහුගේ ගෞරවය බේරුණු බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
Cicada Shedding Its Skin යන අර්ථය ගෙන දෙන Chiến Nam: Ve Sầu Thoát Xác චිත්රපටය නිර්මාණය කිරීම සඳහා වසර 10 ක කාලයක් ගතවී ඇති අතර, ඒ සඳහා වියට්නාම ඩොං බිලියන 30 ක පමණ පිරිවැයක් දරා තිබෙනවා. වියට්නාම සටන් කලාවක් වන Votado සහ තාත්වික ක්රියාදාමයන් මූලික කරගත් මෙම චිත්රපටයේ ප්රධාන පොලිස් නිලධාරියාගේ චරිතය Longka විසින් නිරූපණය කරන අතර, සැබෑ සටන් ශූරයෙකු වන Nguyễn Trần Duy Nhất ඇතුළු පිරිසක් ද මීට රංගනයෙන් දායක වනවා. මෙම අනපේක්ෂිත අත්වැරදීම හරහා චිත්රපටයට කිසිවෙකුත් සැලසුම් නොකළ දැවැන්ත ජාත්යන්තර ප්රසිද්ධියක් හිමිව තිබීම විශේෂත්වයක්.
Discussion
No comments yet — start the conversation.