The Breaking Bad Season 4 finale is hitting select theaters on September 7

The Breaking Bad Season 4 finale is hitting select theaters on September 7

රූපවාහිනි ඉතිහාසයේ අමරණීයම කතාමාලාවක් වන Breaking Bad ප්‍රේක්ෂකයින් හමුවට පැමිණ 2026 වසරට වසර 18 ක් සම්පූර්ණ වන අතර, එම 18 වන සංවත්සරය සහ 18 වන Breaking Bad Day සැමරුම වෙනුවෙන් Breaking Bad හි 4 වන කතාසමයේ අවසන් කතාංගය (Season 4 finale) වන Face Off කතාංගය එළඹෙන සැප්තැම්බර් 7 වනදා ඇමරිකාවේ තෝරාගත් සිනමාහල්වලදී නැවත තිරගත කිරීමට Alamo Drafthouse ආයතනය තීරණය කර තිබෙනවා. Walter White ගේ උපන්දිනය මෙන්ම කතාමාලාවේ පළමු කොටස ආරම්භ වූ දිනය ද වන සැප්තැම්බර් 7 වනදා Breaking Bad Day ලෙස රසිකයින් විසින් සමරනු ලබන අතර, එම දිනය නිමිත්තෙන් මෙම විශේෂ ප්‍රදර්ශනය සංවිධානය කර ඇති බව සඳහන් වනවා.

මෙම සුවිශේෂී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සෑම ප්‍රේක්ෂකයෙකුටම Heisenberg තොප්පියක්, නිල් පැහැති සීනි වලින් සෑදූ රසකැවිලි (Blue rock candy), Hector Salamanca ගේ සුප්‍රකට සීනුව (Call bell) සහ Gus Fring ගේ අර්ධ මුහුණු ආවරණයක් (Half-face mask) ඇතුළත් විශේෂ ත්‍යාග පාර්සලයක් හිමිවනු ඇති. මීට අමතරව කහ පැහැති Hazmat ඇඳුමකින් සැරසුණු සත්කාරකයෙකු විසින් වැඩසටහන මෙහෙයවන අතර, Hector Salamanca තිරය මත සීනුව නාද කරන විට ප්‍රේක්ෂකයින්ට ද තමන් සතු සීනුව නාද කරමින් සජීවී අත්දැකීමක් ලබාගැනීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබෙනවා.

Saul Goodman, Los Pollos Hermanos සේවකයින් හෝ Marie Schrader ගේ දම් පැහැති ඇඳුම් විලාසිතාවන්ගෙන් සැරසී පැමිණෙන රසිකයින් වෙනුවෙන් විශේෂ ඇඳුම් නිර්මාණ තරගයක් ද පැවැත්වෙන අතර, New York, Los Angeles, Boston සහ Chicago ඇතුළු නගර රැසක සිනමාහල්වල ප්‍රවේශපත්‍ර මේ වන විටත් ඉතා වේගයෙන් අලෙවි වී අවසන් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.