Twitter 2 has officially launched.

Twitter 2 has officially launched.

Elon Musk විසින් මිළදී ගෙන අතහැර දැමූ පැරණි Twitter සන්නාමය යටතේ නව සමාජ මාධ්‍ය වේදිකාවක් ආරම්භ කරයි.

Elon Musk ට අයත් 𝕏 Corp සමාගම විසින් අතහැර දැමූ පැරණි Twitter සන්නාමයේ සහ එහි නිල් කුරුල්ලාගේ (Blue bird) ලාංඡනයේ අයිතිය තමන් සතු බව පවසමින්, ඇමරිකාවේ Virginia හි පිහිටි Operation Bluebird නම් ආයතනයක් විසින් Twitter.now නමින් නවතම සමාජ මාධ්‍ය වේදිකාවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඩොලර් 20 ත් 40 ත් අතර මුදලක් ගෙවා (Paid early access) මේ දිනවල පරිශීලකයින්ට මීට පිවිසිය හැකි අතර, සාමාජික ගාස්තු අය කිරීම හරහා දැන්වීම් මත යැපීම අවම කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

පැරණි Twitter වේදිකාව එලෙසින්ම ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට, විශ්වාසය සහ විනිවිදභාවය මත පදනම් වූ වේදිකාවක් ලෙස මෙය නිර්මාණය කර ඇති බව අදාළ ආයතනය පෙන්වා දෙනවා. ඒ අනුව පරිශීලකයින්ට පාලනය කළ හැකි Feeds, සටහන් සඳහා Trust signals මෙන්ම සත්‍ය තොරතුරු තහවුරු කිරීම සඳහා Google සමාගමේ Gemini තාක්ෂණයෙන් බලගැන්වෙන Vera නම් කෘත්‍රිම බුද්ධි විශේෂාංගයක් ද මෙයට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් පැරණි Twitter වේදිකාවේ මෙන්ම මෙහිද Replies, Reposts සහ නිල් කුරුල්ලාගේ සන්නාමය ද දැකගත හැකි අතර, තමන් 𝕏 Corp හෝ Elon Musk සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවද Operation Bluebird ආයතනය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

2022 වසරේදී ඩොලර් බිලියන 44 කට අදාළ සමාගම මිලදී ගැනීමෙන් පසු Elon Musk විසින් එය 𝕏 ලෙස නම් කරමින් එහි පැරණි සන්නාමය භාවිතයෙන් ඉවත් කරනු ලැබුවා. මේ හේතුවෙන් අදාළ සන්නාමය සඳහා 𝕏 Corp ආයතනයට ඇති අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2025 වසරේ දෙසැම්බර් මාසයේදී Operation Bluebird ආයතනය නීතිමය පියවර ගත් අතර, ඊට ප්‍රතිචාර දක්වමින් 𝕏 Corp සමාගම විසින් ද ඔවුන්ට එරෙහිව ඇමරිකාවේ Delaware හි අධිකරණයක නඩු පවරා තිබෙනවා. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ පැවති නඩු විභාගයකදී අදාළ විනිසුරුවරයා විසින් ‘tweet’ යන වචනය සහ කුරුල්ලාගේ ලාංඡනය අතහැර දමා ඇති බවට වාචිකව ප්‍රකාශ කර තිබුණත්, ඊට අදාළ අවසන් ලිඛිත නියෝගය මෙතෙක් නිකුත් කර නැහැ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයතනයේ සම-නිර්මාතෘ Stephen Coates විසින් LinkedIn වේදිකාවේ සටහනක් තබමින් පවසා තිබුණේ, “𝕏 Corp ආයතනය Twitter සන්නාමය ඉවත් කළ විට, විශ්වාසය, විනිවිදභාවය සහ පරිශීලක තේරීම මත පදනම් වූ නවතම දෙයක් ගොඩනැගීමට අප එය අවස්ථාවක් කරගත්තා... ඔබේ 𝕏 අමතක කරන්න. කුරුල්ලා යළිත් ඇවිත්” යනුවෙනි.

මෙම නව ව්‍යාපෘතිය පැරණි Twitter සමාගමේ නිෂ්පාදන, ඉංජිනේරු හෝ නායකත්ව කණ්ඩායමේ එකමුතුවක් නොවන අතර, මෙය ප්‍රධාන වශයෙන්ම නීතිඥයින් පිරිසක් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘතියක් වීම ද විශේෂත්වයක්. මෙහි සම-නිර්මාතෘවරයෙකු මෙන්ම ප්‍රධාන නීති උපදේශකවරයා ලෙස කටයුතු කරන Stephen Coates යනු පැරණි Twitter සමාගමේ වෙළඳනාම සහ බුද්ධිමය දේපළ පිළිබඳ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු වනවා. එහි අනෙක් ප්‍රධාන සම-නිර්මාතෘවරයා වන ඇමරිකාවේ Illinois හි පදිංචි Michael Peroff යනු කිසිදිනෙක Twitter සමාගමේ සේවය නොකළ, වෙළඳනාම ආරක්ෂා කිරීම පිළිබඳ නීතිඥවරයෙකු වන අතර, 𝕏 සමාගමේ නාමය වෙනස් කිරීමත් සමඟ මෙම නීතිමය අවස්ථාව හඳුනාගෙන ඇත්තේ ඔහු විසිනි. ඊට අමතරව Tiffany Valeriano, Jeff Brooks, Rick Baker සහ David Walton යන අය ද මෙහි නිර්මාතෘවරුන් ලෙස කටයුතු කරන අතර, පුද්ගලයින් 2 ත් 10 ත් අතර කුඩා කණ්ඩායමකින් සමන්විත මෙම ආයතනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අදාළ වෙළඳනාම අයිතිය ලබාගැනීම සහ මෙම නව වේදිකාව ගොඩනැගීමයි.

කෙසේ වෙතත් තවමත් මේ සම්බන්ධව Elon Musk විසින් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත. මොකද හිතෙන්නේ, මේක සාර්ථක වෙයිද? නැත්නම් තවදුරටත් නඩු මාර්ගවලට යයිද?