U.S. confirms deployment of first on orbit space control weapons

U.S. confirms deployment of first on orbit space control weapons

අභ්‍යවකාශයෙහි අවි පද්ධතීන් ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට ඇමරිකාව නිළ වශයෙන් පත් වෙයි.

අභ්‍යවකාශය තුළ රඳවා ඇති අවි පද්ධතීන් හෙවත් on orbit space control weapons ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට පත් වෙමින්, ඇමරිකා එක්සත් ජනපදය විසින් මේ වන විට ඒ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 14 වනදා Maryland හි පැවති Air Space and Cyber Conference සමුළුව අමතමින් ඇමරිකානු ගුවන් හමුදා ලේකම් Troy Meink විසින් මේ බව අනාවරණය කළ අතර, මෙය පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් පෘථිවි කක්ෂයේ අවි පද්ධතීන් ක්‍රියාත්මක වන බවට සිදුකළ ප්‍රථම නිල තහවුරු කිරීම ලෙස ද සැලකෙනවා.

මේ වන විටත් සක්‍රීයව පවතින මෙම අවි පද්ධතීන් ඇමරිකානු හමුදාවන්ට එල්ල විය හැකි සතුරු තර්ජනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිර්මාණය කර ඇති බව සඳහන් වනවා. රුසියාව සහ චීනය විසින් සිය ප්‍රතිවාදී චන්ද්‍රිකාවලට බාධා කළ හැකි තාක්ෂණයන් දියුණු කරමින් පවතින බවට ඇමරිකානු බලධාරීන් කලක පටන් අනතුරු අඟවා තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම අවි පද්ධතීන්වල ස්වභාවය හෝ ඒවායේ නිශ්චිත හැකියාවන් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි කර නැහැ.

1967 වසරේ සම්මත වූ Outer Space Treaty ගිවිසුමට අනුව අභ්‍යවකාශය තුළ මහා විනාශකාරී අවි රඳවා තැබීම තහනම් වුවත්, සාමාන්‍ය අවි පද්ධතීන් සඳහා ඉන් බාධාවක් එල්ල වන්නේ නැහැ. මීට අමතරව Golden Dome මිසයිල ආරක්ෂණ වැඩසටහන යටතේ 2028 වසර වන විට Space Based Interceptor අභ්‍යවකාශ අවි පද්ධතියක් දියත් කිරීමට නියමිත බවත්, නවතම ඉලක්ක හඳුනාගැනීමේ චන්ද්‍රිකා ජාලයක් මෙම මාසයේදී කක්ෂගත කිරීමට නියමිත බවත් Troy Meink විසින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

2019 වසරේදී U.S. Space Force හෙවත් ඇමරිකානු අභ්‍යවකාශ බලකාය ස්ථාපිත කළ දා සිට තීරණාත්මක චන්ද්‍රිකා ජාලයන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාවේ මෙම නවතම අනාවරණයත් සමඟ චීනය විසින් ඊට ප්‍රතිචාර දක්වමින් අභ්‍යවකාශය තුළ යුධ හැකියාවන් පුළුල් කිරීමෙන් වළකින ලෙසත්, අභ්‍යවකාශය තුළ අවි තරඟයක් නිර්මාණය නොකරන ලෙසත් ඇමරිකාවට අනතුරු අඟවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.