Veteran Buddhist monk, renowned lyricist and author Ven. Rambukana Siddhartha Thero has passed away at the age of 76.

Veteran Buddhist monk, renowned lyricist and author Ven. Rambukana Siddhartha Thero has passed away at the age of 76.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ගීත රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබෙනවා. උන්වහන්සේගේ මෙම අපවත්වීම ශ්‍රී ලංකාවේ බෞද්ධ සාහිත්‍යයට, කලාවට මෙන්ම සිංහල සංගීත ක්ෂේත්‍රයට ද කිසිසේත්ම පියවිය නොහැකි අතිමහත් පාඩුවක් බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

1950 වසරේ මැයි 22 වනදා දෙණියායේ රඹුකන ගම්මානයේ උපත ලැබූ උන්වහන්සේ, ශ්‍රී ලංකාවේ බිහිවූ අතිශය ජනප්‍රිය මෙන්ම ගෞරවාදරයට පාත්‍ර වූ ගීත රචකයෙකු ලෙස සැලකෙනවා. බෞද්ධ දර්ශනය, මානුෂීය සබඳතා සහ හැඟීම්බර බව ඉතා අපූරුවට මුසු කරමින් බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, ළා දළු බෝපත්, මේ ඉර හඳ යට, සඳ තරු මල්, සෙනෙහස පුදා, වෙහෙරක් වගේ සහ බුදු බණ ඇසුවා වැනි අමරණීය ගීත නිර්මාණ රැසක් උන්වහන්සේ විසින් සංගීත ක්ෂේත්‍රයට දායාද කර තිබෙනවා.

1987 වසරේදී සංසාරේ අපි හරහා සංකල්පීය ගීත ඇල්බම කලාවට නව මුහුණුවරක් එක් කළ උන්වහන්සේ, ඉන් අනතුරුව ගම්මානේ අපි, සමනළ කන්ද සහ බුදු අම වැස්ස වැනි ඇල්බම මෙන්ම සසර දනව්ව නමැති සම්මානනීය ගේය පද සංග්‍රහය ද එළිදැක්වීමට කටයුතු කළා. සිනමා ක්ෂේත්‍රය තුළ ද සුවිශේෂී ඇගයීම් ලබාගත් උන්වහන්සේ, සඳකඩපහණ චිත්‍රපටය වෙනුවෙන් රචිත පෙර සංසාරේ ගීතය සඳහා සරසවිය සම්මානයෙන් ද, ආලෝකෝ උදපාදි චිත්‍රපටය වෙනුවෙන් රචිත සදා පහරක් සේ එකමුතු වූ දා ගීතය සඳහා දෙරණ සිනමා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා!