WhatsApp introduces ‘WhatsApp Plus’ premium subscription plan

WhatsApp introduces ‘WhatsApp Plus’ premium subscription plan

Meta සමාගම විසින් WhatsApp Plus නමින් අලුත්ම ගෙවීම් සහිත වාරික සේවාවක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. මෙය පරිශීලකයින්ට වඩාත් පුද්ගලික සහ වෙනස්ම අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ සැලසුමක් වන අතර, මූලික පහසුකම්වලට අමතරව තවත් විශේෂාංග රැසක් මින් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

මෙම සේවාව හරහා ලැබෙන ප්‍රධානතම පහසුකම් ලෙස WhatsApp යෙදුමේ සම්පූර්ණ පෙනුම වෙනස් කළ හැකි නව වර්ණ 18කින් යුත් Themes සහ අලුත්ම App Icons 14ක් ලබා ගැනීමට හැකි වනවා. මීට අමතරව සාමාන්‍යයෙන් චැට් 3කට සීමා වී තිබූ පින් කිරීමේ (Pin chats) පහසුකම මින් චැට් 20ක් දක්වා ඉහළ නංවා ගැනීමටත්, විශේෂිත ඇනිමේෂන් සහිත Premium ස්ටිකර් සහ අලුත්ම රින්ග්ටෝන් 10ක් භාවිතා කිරීමටත් අවස්ථාව ලැබෙනවා. එමෙන්ම චැට් ලිස්ට් එකවර පාලනය කළ හැකි Bulk settings පහසුකම ද මීට ඇතුළත් කර තිබෙනවා.

මිල ගණන් පිළිබඳව සැලකීමේදී මෙය මාසික ගාස්තුවක් අය කරන සේවාවක් වන අතර යුරෝපයේ මේ සඳහා මසකට යුරෝ 2.49ක (රුපියල් 800ක් පමණ) මුදලක් අය කිරීමට නියමිතයි. පාකිස්තානය වැනි රටවල මෙය PKR 229ක (රුපියල් 250ක් පමණ) අඩු මුදලකට හඳුන්වා දී ඇති අතර, ලංකාවට මෙය ලැබෙන නිල මිල ඉදිරියේදී තහවුරු වනු ඇති.

දැනට මෙම පහසුකම Android Beta පරිශීලකයින්ට සහ iOS Beta පරිශීලකයින් සීමිත පිරිසකට ද අත්හදා බැලීම සඳහා නිකුත් කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙය ලොව පුරා සිටින සියලුම පරිශීලකයින්ට විවෘත වනු ඇත, මෙය සම්පූර්ණයෙන්ම වෛකල්පිත (Optional) පහසුකමක් වන අතර, සාමාන්‍ය WhatsApp පහසුකම් කිසිදු ගාස්තුවකින් තොරව පෙර පරිදිම භාවිතා කිරීමට හැකි බව ද වාර්තා වෙනවා.