World map set to change after nearly 500 years as UN backs ‘Equal Earth’ projection

World map set to change after nearly 500 years as UN backs ‘Equal Earth’ projection

වසර 500 කට පමණ පසු ලෝක සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, අපි මෙතෙක් කල් පාසල්වල සහ Google Maps වල දැකපු Mercator සිතියම වෙනුවට සැබෑ භූමි ප්‍රමාණයන් නිරූපණය කෙරෙන Equal Earth නමැති නිවැරදි සිතියම් ක්‍රමය (True scale map) භාරගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UN) විසින් ඓතිහාසික යෝජනාවක් සම්මත කර තිබෙනවා.

1569 හඳුන්වා දුන් ලෝක සිතියම්කරණය සඳහා භාවිත කළ Mercator ක්‍රමය වෙනුවට, අප්‍රිකානු මහද්වීපය ඇතුළු සමකයට ආසන්න කලාපයන්හි සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කෙරෙන Equal Earth සිතියම් ක්‍රමය (Projection) භාවිත කිරීම දිරිගන්වමින් UN General Assembly විසින් ඓතිහාසික යෝජනාවක් සම්මත කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට ග්‍රීන්ලන්තය, යුරෝපය සහ උතුරු ඇමරිකාව වැනි කලාපවලට වඩා අප්‍රිකාවේ සැබෑ විශාලත්වය මෙම නව ලෝක සිතියම හරහා ඉස්මතු වනු ඇති.

African Union සංවිධානයේ සහයෝගය ඇතිව ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද නීතිමය නොවන “Correct the Map” නම් මෙම යෝජනාවට රටවල් 164 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව ප්‍රකාශ වූයේ ඇමරිකාව ලබාදුන් ඡන්දය පමණයි. ඊට අමතරව සර්බියාව, එස්තෝනියාව, ජෝර්ජියාව, ලිතුවේනියාව, මෝල්ඩෝවාව සහ යුක්‍රේනය යන රටවල් 6 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. 1569 වසරේදී සමුද්‍රීය නාවික කටයුතු වෙනුවෙන් හඳුන්වා දුන් Mercator ක්‍රමය හරහා අප්‍රිකාවට වඩා 14 ගුණයකින් කුඩා වූ ග්‍රීන්ලන්තය ද අප්‍රිකාව තරම්ම විශාලව පෙන්වීමට කටයුතු කර තිබූ අතර, මේ හේතුවෙන් අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ දකුණු ආසියාව වැනි කලාපවල සැබෑ භූමි ප්‍රමාණයන් අවතක්සේරුවට ලක්ව තිබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

2018 වසරේදී සිතියම් විද්‍යාඥයින් වන Bojan Šavrič, Tom Patterson සහ Bernhard Jenny විසින් හඳුන්වා දුන් මෙම Equal Earth ක්‍රමය හරහා ලෝකයේ සෑම කලාපයකම සැබෑ වර්ගඵලය නිවැරදිව නිරූපණය කරනවා. මෙම යෝජනාව හරහා පැරණි Mercator සිතියම තහනම් නොකෙරුණ ද, රජයන්, පාසල්, ජාත්‍යන්තර සංවිධාන සහ තාක්ෂණික සමාගම් වෙත මෙම නව ක්‍රමය භාවිත කරන ලෙස ඉන් දිරිගන්වනු ලබනවා. මෙම ඓතිහාසික තීරණයත් සමඟ ප්‍රංශය ද නිල වශයෙන් Mercator ක්‍රමයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයක්.