World War Z sequel officially in development.

World War Z sequel officially in development.

වසර 13ට පසු අතිශය ජනප්‍රිය zombie චිත්‍රපටයක් වන World War Z චිත්‍රපටයේ 2 වන කොටස නිර්මාණය කරන බවට තහවුරු කරයි.

2013 වසරේදී තිරගත වූ අතිශය ජනප්‍රිය zombie චිත්‍රපටයක් වන World War Z හි 2 වන කොටස නිර්මාණය කිරීම සඳහා Paramount Pictures සමාගම නිල වශයෙන් සූදානම් වන බවට තහවුරු වී තිබෙනවා. මෙහිදී ප්‍රධාන චරිතය වෙනුවෙන් ජනප්‍රිය නළු Brad Pitt නැවතත් එක්වීමට නියමිත අතර, All Quiet on the Western Front සහ Conclave වැනි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔස්කාර් සම්මානලාභී Edward Berger විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ඇති.

Matilda The Musical හි තිර රචක Dennis Kelly විසින් මෙහි තිර රචනය සිදු කර ඇති අතර, Brad Pitt, Dede Gardner සහ Jeremy Kleiner එක්ව ඔවුන්ගේ Plan B Entertainment සමාගම හරහා චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබනවා. Marc Forster විසින් අධ්‍යක්ෂණය කළ මුල් World War Z චිත්‍රපටය නිර්මාණය කිරීමේදී විවිධ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුවත්, ලොව පුරා ඩොලර් මිලියන 540 කට අධික ආදායමක් උපයා ගනිමින් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ zombie චිත්‍රපටය බවට පත්වීමට එය සමත් වුණා.

මුල් චිත්‍රපටය නිකුත් වූ දා සිටම මෙහි 2 වන කොටසක් නිර්මාණය කිරීම සඳහා J.A. Bayona සහ David Fincher වැනි ප්‍රකට අධ්‍යක්ෂකයින් කිහිප දෙනෙකුම සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද, අධික පිරිවැය ඇතුළු විවිධ හේතූන් මත 2019 වසරේදී එහි නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කර දැමීමට Paramount Pictures පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත් Skydance ආයතනය විසින් Paramount සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ඔවුන්ගේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මෙහි කතාව හෝ තිරගත වන දිනය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, දිගු කලක් බලා සිටි මෙම දැවැන්ත සිනමා නිර්මාණය කඩිනමින් නිෂ්පාදන අදියරට පිවිසෙනු ඇති බවයි වාර්තා වන්නේ.